ඉකි බිඳින කවි












මහත් වෙර වැර යොදා
බැරෑරුම් වචන ගොන්නක්ම
කඩදාසි කොළවල
මුල සිට අගට
අග සිට මුලට
තතන තතනා
රෑ දවල් අමුණා
මහ පොළව අහසට
නිහඬවම ගැට ගා
දහස් වර සැනින්, කපා ගළපා
වරක දුක
තව වරක සතුට ගැන
ලියූ සියයකුත් එකක් කවි
බිත්ති හතරක් මැද්දේ
එකම එක මුල්ලක
හැඬුම් දෙයි
ගතු කියයි
කවි සිතට..
කිම පල නොකොට
සිරකලේ කූඩයක..

මුහුණතක මායාව



















බිමට නැවුණු
ඇසක
තෙත
කෙතරම්ද

මුහුණතක සැඟවූ
ඇසක
මඳ එළිය
කාටත් නොපෙනෙන්න.
සඟවන්න.
වළලන්න.
කෙතරම් කල්
ඇහැසිද?

මහා වර්ෂා ගලා
සියලු වළාකුළු
ඉකිබිඳින විටත්
එනෙත
තෙතව
බිමට වැගිරෙන
හිරු රළුව-නපුරුව
ආලෝකය පතුරන විටත්
එනෙත
රතුව වැගිරෙන

මද පවන
මෘදුව
ආදරෙන්
හමා යන විටත්
කවුරුත් නොදැක
එනෙත
මටම අහිමිව
දැවිණි
ඇවිළිණි.

ඒ ගිනි මැදම
තෙතැති ඇස සිනාසෙන
දැන නොදැන
මුහුණතක
මායාව...

ළමා පත්තර තුනක් විස්සයි !



බසේ යන ඔබ හැමට සරණයි
බුදුන් අදහන දෙවුන් පිහිටයි
කියන්නේ මේ මගේ දිවියයි
ළමා පත්තර තුනක් විස්සයි

හිතේ දුක් සක ඉතින් එමටයි
බඩේ ලුණුබත් පිඬක් පමණයි
උදේ සිට මගෙ කටත් තිත්තයි
ළමා පත්තර තුනක් විස්සයි

රටේ ජීවන තර‍ඟෙ මෙයමයි
ගමේ හිටියොත් බඩේ ගින්නයි
ගෙවන්නේ පෙර කරපු පව්මයි
ළමා පත්තර තුනක් විස්සයි

මගේ කරදර සමා කරමැයි
සොරෙක් සතුරෙක් නොවේ කියමැයි
මගේ ජීවන ගමනෙ වැකියයි
ළමා පත්තර තුනක් විස්සයි

ළමා පත්තර ලැබූ ඔබටයි
අසා සිටි මේ හැමට තුතියයි
ඉතින් සමුදෙමි මෙසේ කියමැයි
ළමා පත්තර තුනක් විස්සයි

කවිය නොදිරවයි නම් !


මහා!
සේකරයන්ගේ
"ප්‍රබුද්ධෙන්"
මිටක් ගෙන,

මුනිදසුන්ගේ
"දෙමර අතරින්"
යවා,

කේයස්ගේ
"සුදෝ සුදින්"
දියකර,

සිංහබාහුගේ
බැල්ම ලබා,

ගජමන් නෝනාගේ
කවි බිඳක් සමඟ

විමල් ගේ
"වලව්වෙන්"
පද මිටක් දමා,
අඹරා,
කල්ක කර
පත අට එකට සිඳුවා

කුමාරගමයන්ගේ
"සපුමල්"
පැණියෙන් බිඳක් දමා
මිශ්‍ර කර

නූතනයේ
"කවිය කම්බසින්"
පවන් සලමින්

උදේ සවස
පානය කරනු.
අත්දු‍ටුයි
ප්‍රත්‍යක්ෂයි !

ඔබ














නොදු‍ටුවෙමි
තවම - මම
ඔබේ රුව

අද - හිතන්නෙමි
හෙට - ඔබ හමුවෙතැයි

මම
මගේ සගයන්ට
ඔබ ගැන
කියුවෙමි

ඔවුහුද
අමන්දානන්දට
පත්වූහ

එහෙත්
මට
ඔබ
කිසිදිනෙක
හමු නොවිය
යුතුය

එවිට
මට
ඔබගැන තවත් මොනව හෝ
කිව හැකි නොවේද
හෙට?