මුහුණතක මායාව



















බිමට නැවුණු
ඇසක
තෙත
කෙතරම්ද

මුහුණතක සැඟවූ
ඇසක
මඳ එළිය
කාටත් නොපෙනෙන්න.
සඟවන්න.
වළලන්න.
කෙතරම් කල්
ඇහැසිද?

මහා වර්ෂා ගලා
සියලු වළාකුළු
ඉකිබිඳින විටත්
එනෙත
තෙතව
බිමට වැගිරෙන
හිරු රළුව-නපුරුව
ආලෝකය පතුරන විටත්
එනෙත
රතුව වැගිරෙන

මද පවන
මෘදුව
ආදරෙන්
හමා යන විටත්
කවුරුත් නොදැක
එනෙත
මටම අහිමිව
දැවිණි
ඇවිළිණි.

ඒ ගිනි මැදම
තෙතැති ඇස සිනාසෙන
දැන නොදැන
මුහුණතක
මායාව...

ළමා පත්තර තුනක් විස්සයි !



බසේ යන ඔබ හැමට සරණයි
බුදුන් අදහන දෙවුන් පිහිටයි
කියන්නේ මේ මගේ දිවියයි
ළමා පත්තර තුනක් විස්සයි

හිතේ දුක් සක ඉතින් එමටයි
බඩේ ලුණුබත් පිඬක් පමණයි
උදේ සිට මගෙ කටත් තිත්තයි
ළමා පත්තර තුනක් විස්සයි

රටේ ජීවන තර‍ඟෙ මෙයමයි
ගමේ හිටියොත් බඩේ ගින්නයි
ගෙවන්නේ පෙර කරපු පව්මයි
ළමා පත්තර තුනක් විස්සයි

මගේ කරදර සමා කරමැයි
සොරෙක් සතුරෙක් නොවේ කියමැයි
මගේ ජීවන ගමනෙ වැකියයි
ළමා පත්තර තුනක් විස්සයි

ළමා පත්තර ලැබූ ඔබටයි
අසා සිටි මේ හැමට තුතියයි
ඉතින් සමුදෙමි මෙසේ කියමැයි
ළමා පත්තර තුනක් විස්සයි

කවිය නොදිරවයි නම් !


මහා!
සේකරයන්ගේ
"ප්‍රබුද්ධෙන්"
මිටක් ගෙන,

මුනිදසුන්ගේ
"දෙමර අතරින්"
යවා,

කේයස්ගේ
"සුදෝ සුදින්"
දියකර,

සිංහබාහුගේ
බැල්ම ලබා,

ගජමන් නෝනාගේ
කවි බිඳක් සමඟ

විමල් ගේ
"වලව්වෙන්"
පද මිටක් දමා,
අඹරා,
කල්ක කර
පත අට එකට සිඳුවා

කුමාරගමයන්ගේ
"සපුමල්"
පැණියෙන් බිඳක් දමා
මිශ්‍ර කර

නූතනයේ
"කවිය කම්බසින්"
පවන් සලමින්

උදේ සවස
පානය කරනු.
අත්දු‍ටුයි
ප්‍රත්‍යක්ෂයි !

ඔබ














නොදු‍ටුවෙමි
තවම - මම
ඔබේ රුව

අද - හිතන්නෙමි
හෙට - ඔබ හමුවෙතැයි

මම
මගේ සගයන්ට
ඔබ ගැන
කියුවෙමි

ඔවුහුද
අමන්දානන්දට
පත්වූහ

එහෙත්
මට
ඔබ
කිසිදිනෙක
හමු නොවිය
යුතුය

එවිට
මට
ඔබගැන තවත් මොනව හෝ
කිව හැකි නොවේද
හෙට?

මලී


පින්න වැටී නිල් මිණිකැට දිලෙනු බලාපන්
පින්න කැකුළු මල් එකිනෙක පිපෙනු බලාපන්
ගොන්න ගහේ ගහ මුදුනේ ගිරව් බලාපන්
අන්න මලී මල් නෙළනා අගේ බලාපන්

ඔන්න බමරු රොන් උරනා අගේ බලාපන්
කුන්ද සමන් මල් මත් උන් රඟනු බලාපන්
සද්ද නැතුව පා නළවන රඟේ බලාපන්
ලන්ද දිගේ එන මලීගෙ හිනා බලාපන්

නැන්ද මොකද අද පස්සෙන් නැත්තෙ බලාපන්
බැන්ද සේල පට එළියට දිලෙනු බලාපන්
ඉද්ද කැකුළු මල් පරදන ඔමරි බලාපන්
අන්න මලී මා හට අත වනනු බලාපන්